“උතුමාණෙනි මගේ දරුවා විඳවනවා.”
“උතුමාණෙනි මගේ දරුවා විඳවනවා.”
සියදෝරිස් දෑත් වැඳගෙන යටහත් පහත් ලෙස කීවේය.
“හ්ම්ම්” පූජක තෙමේ පිළිතුරු දුන්නේය.
“දරුවට හරි කරදරයිලු වැඩ කරන තැන. එක එක දේවල් කියනවලු. වැරදි දේවල් වලට ආරාධනා කරනවලු. අපේ ළමයා කියනවා පොලිසියේ පැමිණිල්ලක් දාලා රස්සාවෙන් අයින් වෙන්න ඕනේ කියලා”
“හා හා , එහෙම කලබල වෙලා හරියන්නේ නැහැ. ඔය රස්සාවෙන් වෙන රස්සාවකට ගියාට පස්සේ එතනදිත් එහෙම උනොත්? ඕවා කර්මය නිසා සිදුවන දේවල්. කර්මයෙන් පැනලා යන්න බැහැ. මේ රස්සාවෙන් අස්වෙලා වෙන රස්සාවට ගියත් ළමයාට ඔය වගේම දේවල් වලට මුහුණ දෙන්න වෙනවා කර්මයට අනුව.” පූජක තෙමේ විශ්වාසයෙන් පැවසුවේ සියදෝරිස්ව අසරණ කරමිනි.
“උතුමාණෙනි?”
“ඔව්. දුවට කියා දෙන්න හතුරට සමාව දෙන්න කියලා. මෛත්‍රිය කරුණාව වඩන්න කියන්න. එකට එක කරලා නම් ඔය අකුසල කර්මයෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. උතුම්ම දේ තමයි කරුණාව. පෙරලා තමන්ට හානි කරන මිනිසුන්ට පෙරළා කරුණාව දක්වන්න දුවට උපදෙස් දෙන්න.”
“උතුමාණෙනි දැන් ඉතින් දුවගේ මේ විඳවිල්ල අඩු කරන්න මොකද කරන්නේ?” සියදෝරිස් ඇසුවේ දෑත් හිස මත තබා වන්දනා කරමිනි.
“කරන්න තියෙන්නේ එක දෙයයි. කර්මය පරද්දන්න යාතිකා කරන්න ඕනේ. දෙවියන්ට පූජාවල් කරන්න ඕනේ. ගිය ආත්ම වල කරපු පව් ඒවයෙන් යටපත් වෙනවා. ඒවට ලෑස්ති වෙන්න දැන් ඉදන්ම. ඒ දේවල් කලාට පස්සේ ළමයගෙ කරදර ටික ටික අඩු වෙලා යයි.” පූජක තෙමේ පැවසුවේය
පූජකයා පැවසූ යන්තර මන්තර දැමීමටත්, මැණික් කැට සහ සුර පැළඳීමටත්, ශාන්තිකර්ම කිරීමටත් සියදෝරිස් මුදල් යට කළේ සිය කුඹුර විකුණා දැමීමෙනි. නමුත් සියදෝරිස්ගේ දියණියට ඉන් ලැබුණු සහනයක් නැත. ඇගේ රැකියා ස්ථානයේ කරදර එන්න එන්නම වැඩි වූවා මිස අඩු වූයේ නැත.
ඇයට රැකියාවෙන් මාරු වෙන්නට සියදෝරිස් ඉඩ දුන්නේ ද නැත
“දෙවියෝ කෝප වෙයි ළමයෝ උන්වහන්සේ කියපු දේවල් ඇහුවෙ නැත්නම්. ඔය පූජක උන්නාන්සේ හරහා කතා කරන්නේ දෙවියෝ.” සියදෝරිස් එකහෙලාම කීවේය.
සියදෝරිස්ගේ දියණියට ඉවසිය හැකි උපරිම සීමාව පැන්නේ ආයතනයේ ඇයව බිලි බා ගන්නට උත්සාහ කර බැරි වූ පුද්ගලයකු ඇයව බොරු මූල්‍ය වංචාවකට හසු කළ විටය.
පියා තමන්ට රැකියාවෙන් අස්සෙන්නට ඉඩ දුන්නේ ද නැත. දැන් ආයතනයේ ප්‍රධානියා කියන්නේ පොලිසියේ පැමිණිල්ලක් දමන බවය. මේ සියල්ල කෙළවර වනු ඇත්තේ උසාවියෙනි. සියදෝරිස්ගේ දියණිය රාත්‍රියේදී ගෙල වැළලා ගත්තාය.
සියදෝරිස් දින ගණනාවක් නොකා නොබී වැළපුණේය. මරණය ගැන ආරංචි වී පූජක තෙමේම සියදෝරිස්ගේ නිවසට පැමිණියේය.
“බලන්න සියදෝරිස් උන්නැහැ, කර්ම ශක්තියක මහත. මොනතරම් ශාන්ති කර්ම කළාද? මොනතරම් පූජාවන් කළාද? සුර මැණික් කොච්චර පැළඳුවත් වැඩක් උනාද? එච්චර බලවත් අකුසලයක් වෙන්න ඕනා සියදෝරිස්ගේ දුව කරලා තියෙන්නේ. දැන් ඉතින් මොනව කරන්නද?” පූජක තෙමේ සන්සුන්ව කීවේය.
“අනේ පූජකතුමාණෙනි මට මේ දුක දරාගන්න බෑ. මගේ එකම දරුවා.” සියදෝරිස් හඬා වැළපෙමින් පැවසුවේය.
“සියදෝරිස් උන්නැහේගේත් අකුසල කර්මයක් තමයි ඔය. තමන් ජීවත් වෙලා ඉන්න කාලෙදි පණ දීලා රැක ගත්තු දරුවා අහිමි වෙන එක මොනතරම් වේදනාවක්ද? පසුගිය ආත්මෙක කුරුලු කූඩුවකටවත් ගල් ගහලා බිත්තර විනාශ කරන්න ඇති. දැන් ඉතින් මොනව කරන්නද? සියදෝරිස්ගේ අකුසලය කොහොම හරි ගෙවලා ඉවර කරන්නත් එපැයි. ඒ වෙනුවෙන් අපි ශාන්ති කර්මයක් කරමු. මරණ වැඩ කටයුතු ඉවර වෙලා ඉන්නකො ඒ පැත්තෙ.. අපි කතා කරගමු මොනවද ඕන කරන දේවල් කියල.” එසේ කියා පූජකයා යන්නට ගියේය.
සමාධී ඩයස්











