ශ්‍රී ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂය ලෙස හැඳින්වූ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය පිහිටුවනු ලැබුවේ 2020 වසරේදී ය.
දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධව ඇතිව තිබූ මත ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙසේ එම පක්ෂයෙන් බහුතර පිරිසක් වෙන් වී සමගි ජන බලවේගය නමින් පක්ෂය නිර්මාණය කළේ ය.
එජාපය සමග අත්වැල් බැඳගෙන සිටි තවත් පක්ෂ කිහිපයක් ද මෙම වෙන්වීමේදී සජබ සමග සන්ධාන ගත විය.
සජිත් ප්‍රේමදාස ප්‍රථම වරට 2019 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වීමෙන් පසුව එජාපයෙන් තවත් විශාල පිරිසක් සමග ඉවත් වී සජබ පක්ෂය පිහිටුවූ අතර එම පක්ෂය 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස තේරී පත්විය.
සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළ ද ආර්ථික අර්බුදය සමයේදී හෝ අරගලයෙන් පසුව පැවති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමට අසමත් විය.
2024 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හවුලේ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට දෙපක්ෂයෙන් ම යෝජනා ඉදිරිපත්ව තිබිණි.
එම සාකච්ඡා අසාර්ථක වී දෙපාර්ශවය තනි තනිව මැතිවරණයට තරග කළේ ය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට එජාප සහ සජබ හවුල් වීමේd සාකච්ඡා බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් ලෙස මාධ්‍ය සඳහන් කර තිබුණේ සජබ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමකි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම ප්‍රධාන කොන්දේසියක් ලෙස ඉදිරිපත් වු බව එම වාර්තාවල දැක්විණි.
මෙවර සාකච්ඡා සඳහා ද එම කොන්දේසිය වලංගු දැයි බීබීසි සිංහල දෙපාර්ශවයෙන් ම විමසීය.
“එහෙම කොන්දේසියක් දාලා නැහැ අපි,” යැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“අද මුළු රටේ කට්ටිය කියන්නේ රනිල් තමයි ඉතුරු වෙන්නේ රට බේරගන්න කියලා. අපිට දැන් මේ වෙලාවේ තෝරන්න තියෙන්නේ ජනප්‍රිය නායකයෝ නෙමෙයි නේ. රට බේරගන්න පුළුවන් නායකයෙක් නේ ඕනේ,” යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊට පිළිතුරු දුන්නේ ය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ සන්ධානගත වීම ගැන සාකච්ඡා කිරීමට නියමිතව ඇත.











