ඕනෑම තණතීරුවකට උචිත කණ්ඩායමක් හදනවා – උපුල් තරංග
ආදරය සහ කරුණාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නැවත හිස ඔසවා ජයග්‍රාහී මාවතට පිවිසි බව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාවෙන් පිටතදී වුවද ඕනෑම මාදිලියක, තණතිල්ලක ක්‍රීඩා කර ජයග්‍රහණය ලබාගත හැකි කණ්ඩායමක් සැකසීම සිය ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා කීය.
ක්‍රිකට් ආයතනයේදී ඊයේ (21 දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම මහත්වරුන් දෙදෙනා මේ බව පැවසූහ.
සනත් ජයසූරිය මෙසේද පැවැසීය. නීල් මැකන්සිව අපි සති දෙකක පුහුණුවක් සඳහා ගත්ත. එංගලන්ත තරගාවලියේදී අපි ඉයන් බෙල්ව යොදා ගත්ත, ඒක අපිට ලොකු ප්‍රයෝජනවත් දෙයක් වුණා. අවාසනාවකට වගේ නීල් මැකන්සිට දිගටම ඉන්න බෑ එයාට තව වැඩ තියෙන නිසා. ඒ වුණාට එයා මේ සති දෙක අපේ ක්‍රීඩකයොත් එක්ක වැඩ කරනව. දකුණු අප්‍රිකාවෙදි අපේ ක්‍රීඩකයො මොනවද කරන්න ඕනි කියන දේ එයා දන්නව. ඒ නිසා මම හිතනව එයාගෙන් ලොකු දෙයක් අපිට ගන්න පුළුවන් වෙයි කියල.
හැම තරගයකම අභියෝගයක් තියෙනව. ලේසි නෑ. අපි තරගාවලියෙන් තරගාවලියට තමයි ප්ලෑන් කරල සෙල්ලම් කළේ. ලංකාවෙ ක්‍රීඩා කළා කියල අපි ලේසියකට ගත්තෙ නෑ. අපේ හැම ක්‍රීඩකයෙක්ම උපරිමය දුන්න. මම හිතනව හොඳ විස්සයි – 20 තරගාවලි කීපයක් සහ එක්දින තරගාවලි කීපයක් ඉවර කළා කියල. ඉදිරියට තියෙන ටෙස්ට් තරග දෙකත් හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනව.
පන්දු රැකීම ගැන බැලුවොත් මම හිතන්නෙ අපි ලංකාවෙ හිටපු හොඳම පන්දු රැකීමේ කණ්ඩායම. අපි අයෙත් ඒ තැනට ගේන්න තමයි ගොඩක් මහන්සි වෙන්නෙ. ඒකට උපුල් චන්දන ලොකු කැප කිරීමක් කරනව. තාම හොඳම තත්ත්වයට ඇවිල්ල නෑ, නමුත් අපි එතනට අපේ කණ්ඩායම ගේන්න ගොඩක් මහන්සි වෙල වැඩ කරනව.
කුසල් මෙන්ඩිස් ගැන කතා කරන කොට හැමෝම අහන දෙයක් තමයි කලින් ලකුණු අතර හිටපු නැති ක්‍රීඩකයෙක් දැන් කොහොමද ලකුණු අතර ඉන්නෙ කියල. එයා ලකුණු අතර නැතිකොට තිළිණ කණ්ඩම්බි ඇතුළු අපි එයාගෙ තාක්‍ෂණයෙ පොඩි වෙනසක් කළා. ඒක කළායින් පසු අපි දැක්ක කුසල්ගෙ ලොකු වෙනසක්. එයා සෙල්ලම් කරපු අන්තිම එක්දින තරගය බැලුවනම් ඒක හැමෝටම දැනෙන්න ඕන.
දුනිත් ගැන කතා කළොත් පළවෙනි එක තමයි ක්‍රීඩකයන්ට අවශ්‍ය නිදහස ලබල දෙන එක. දුනිත් කියන්නෙ හොඳ ක්‍රීඩකයෙක්. එයාට ලොකු ගමනක් යන්න තියෙනව. තාම පටන් ගත්ත විතරයි. ආදරය සහ කරුණාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නැවත හිස ඔසවා ජයග්‍රාහී මාවතට පිවිස තිබෙනවා. ක්‍රීඩාවෙ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනව. අපි දන්න දේවල් හැම තිස්සෙම ඒගොල්ලන්ට දෙනව.
භානුක ගැන කතා කළොත් ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. ගිය තරගාවලියේදි එයාගෙන් බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නැති වුණාට හැබැයි එයාට ඒ දේ කරන්න පුළුවන් කෙනෙක්. එයා අපේ 2026 ලෝක කුසලාන ප්ලෑන්වල ඉන්නව.

උපුල් තරංග – ලසිත් ඇඹුල්දෙණිය ගැන කතා කළාත් ඇඹුල්දෙණිය අන්තිම කාලෙ කණ්ඩායමේ හිටියෙ නැති වුණාට අපේ සිස්ටම් එකේ හිටිය. විශේෂයෙන්ම අපි බැලුව අන්තිම අවුරුදු 5-6 වගේ කවුද කියල හොඳටම පන්දු යවල තියෙන්නෙ. ඔහු අන්තිම කාලෙ හොඳට පන්දු යවල තියෙනව. ඒක නිසා අපි ඔහුව සංචිතය ඇතුළට ගෙනාවා. තව එකක් තමයි ලසිත් ඇඹුල්දෙණිය තමයි ලංකාවෙන් පිට ක්‍රීඩා කරනකොට හොඳටම පන්දු යවල තියෙන්නෙ. විශේෂයෙන්ම 2019 දකුණු අප්‍රිකානු සංචාරය ජයග්‍රහණය කරන්නත් ලසිත් ලොකු සේවයක් පන්දු යැවීමෙන් කරල තියෙනව.
නිශාන් මධුෂ්ක කණ්ඩායමේ හිටියෙ නෑ. ඔහු හිටියෙ අතිරේක ක්‍රීඩකයෙක් විදියට නවසීලන්ත තරගාවලියෙ. නිශාන්ව අපි බැලුවෙ ආරම්භක පිතිකරුවෙක් විදියට යොදාගන්න. සදීර ගැන කිව්වොත් අපි ටෙස්ට් ක්‍රිකට් එකේ බලන්නෙ අංක 7 බැට් කරන, කඩුලු රකින්නෙක් විදියට තියාගන්න.
අපි හැම තිස්සෙම බලන්නෙ අවස්ථාවක් දෙන ක්‍රීඩකයට ලොකු කාලයක් දෙන්න. එහෙම නොවුණොත් ඊළඟට එන ක්‍රීඩකයටත් චකිතයකින් තමයි සෙල්ලම් කරන්න වෙන්නෙ.
අපි වනිඳුව ටෙස්ට් ක්‍රිකට් එකෙන් අතෑරල නෑ. අපට ඔහුව අවශ්‍ය නම් අපි වනිඳුව කැඳවන්න ලෑස්තියි. ඔහුට ලොකු ආබාධයක් නෑ. දැනට ප්‍රතිකාර කරගෙන යනව.
අපේ බලාපොරොත්තුව තමයි ලංකාවෙ ක්‍රීඩා කළත් ලංකාවෙන් පිට ක්‍රීඩා කළත් හම්බවෙන ඕනෑම තණතීරුවකට උචිත කණ්ඩායමක් බිහිකිරීම.
DIvaina











