යුද හමුදාවට ලොකු මඩක්… ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක්..

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු සබැඳිව යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය පහත සදහන් පරිදි වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කිරීමට අදහස් කලේ මෑත කාලයක පටන් යුද්ධ හමුදාව විසින් ගන්නා ලබන පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රම වේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සිවිල් සමාජය තුල යුද්ධ හමුදාව අපකීර්තියට ලක්කිරීම සඳහා යම් යම් මාධ්‍ය, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කරන බව පෙනී යන හෙයින් ඒ පිලිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත ලබාදීම සුදුසු බවට අදහස් කල බැවිනි.

පසුගිය දිනක සමාජ මාධ්‍ය කිහිපයක් විසින් යුද්ධ හමුදාව මගින් කූඨ ලියකියවිලි සාදා සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදාවෙන් ඉවත්කර ඇති බවත්, තවත් නිලධාරීන් ගණනාවක් පෞද්ගලික කෝන්තර මත යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනා බවත් ප්‍රකාශ කර ඇත. මෙසේ කර ඇති ප්‍රකාශයන් තුලින් ගම්‍ය වන්නේ ඔවුන් හට යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සබැඳිව නිසි අවබෝධයක් නොමැති බවත්, විවිධ පාර්ශව විසින් තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති තොරතුරු වගකීම් විරහිතව සමාජගත කරමින් සිටිනා බවත්ය. කෙසේ නමුදු ආරක්ෂක කරුණු හේතුවෙන් යුද්ධ හමුදාවේ සිදුවන සෑම කටයුත්තක්ම සමාජයට අනාවරණය කල නොහැකි නමුදු මෙම මතුකර ඇති කරුණ හේතුවෙන් යුද්ධ හමුදාව පෞද්ගලික න්‍යාය පත්‍රයන් හා පලිගැනීම් මත ක්‍රියාකරන ආයතනයක් බවට මහජනතාව තුල වැරදි සිතුවිලි ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිලිබඳව පමණක් කරුණු ප්‍රකාශ කිරීමට අදහස් කරමි.

යුද්ධ හමුදාවේ නිලධාරී සංයුතියට අනුව එය පහළ සිට ඉහළට පිරමීඩාකාරව හැඩගැන්වී ඇති ආයතනයකි. ඒ අනුව පහළ ස්ථරවල නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින නමුදු ඉහළ ස්ථර වලට යාමේදී එය ක්‍රමාණුකූලව කුඩා වේ. මෙහිදී එම පිරමීඩාකාර සැකිල්ල නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාව විසින් විවිධ පරිපාලන නිර්ණායක ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව එක් එක් ස්ථරවල සිට ඉන් ඉහළ ස්ථරයට යෑම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සපුරාලීමට අපොහොසත් වන නිලධාරින් හට සේවයෙන් ඉවත් වීමට සිදුවේ. එහිදී ඔවුන් රැඳී සිටින නිලය ඔවුන් හට ලබාගත හැකි උපරිම නිලය (Maximum in the Rank) වශයෙන් සැලකෙන අතර, ඒ අනුව එම නිලයේ රැදී සිටිය හැකි උපරිම සේවා කාලය සම්පූර්ණ කල පසු (Service in Maximum in the Rank) ඔවුන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කරනු ලැබේ. මෙය ලොව පුරා බොහෝ හමුදාවන් විසින් අනුගමනය කරනු ලබන පිළිගත් ක්‍රම වේදයකි. මෙය නිලධාරී සේවා රෙගුලාසි මාලාව තුල ඉතා පැහැදිලිව දක්වා ඇත. මෙලෙස නිලධාරියෙකු හට යා හැකි උපරිම නිල සීමාව පිලිබඳව තීරණය කරනුයේ එක් එක් නිල ස්ථරවල සිට ඉහළ ස්ථරයට ඔවුන් උසස් කිරීම සඳහා සලකා බලනු ලබන යුද්ධ හමුදා තේරීමේ මණ්ඩල හා උපදේශක මණ්ඩල මගිනි. මෙය ඉතා විනිවිද භාවයෙන් සිදු කරනු ලබන ක්‍රියාවලියක් වන අතර, එය තනි පුද්ගල ක්‍රියාවලියක් නොව යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් 10ක් 15ක් අතර ප්‍රමාණයක් විසින් එක්ව තීරණ ගන්නා ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියේදී පරීක්ෂණයට භාජනය කරනු ලබන නිලධාරියා ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් ඇගයීම් ක්‍රියාවලියකට ලක්කරනු ලබයි. එම ක්‍රියාවලියට විනය, කැපවීම, හැකියාව, වෘත්තීමය දැනුම හා දක්ෂතාවය යන කරුණු ඇතුලත් කරුණු රාශියක් යටතේ ලකුණු ලබාදීමේ ක්‍රම වේදයක් ඇතුලත් කර ඇති අතර, එහිදී අදාළ නිලධාරියා හට ඊලඟ නිලයට උසස් වීමට නම් ඒ සඳහා නියමිත වූ පරිසාදන ලකුණු මට්ටම සම්පුර්ණ කල යුතුය. මෙම ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කරනු වස් එම පරීක්ෂණයට භාජනය වූ නිලධාරියා වෙත තමා සබැඳි ඇගයීම් වාර්තාව පිලිබඳව දැනුම්දෙන අතර, ඒ පිලිබඳව ඔහුගේ ලිඛිත එකඟතාවයද ලබාගනී. තවද, තමා හට අසාධාරණයක් සිදු වී ඇති බවට එම නිලධාරියා හට හැඟෙන්නේ නම් ඒ පිළිබඳව උපදේශක මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වීමේ අවස්ථාව ද නිලධාරියා වෙත ලබාදෙන අතර, එම මණ්ඩලය විසින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලබයි. ඒ අනුව උසස් කිරීමට නියමිත නිලධාරීන් හා අදාළ නිලයේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැන්විය යුතු නිලධාරීන් පිලිබඳව තීරණය කරනු ලබයි. මෙසේ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේදී යුද්ධ හමුදාව විසින් අනුගමනය කරන ක්‍රමවේදයන් 02 ක් පවතී. ඉන් පළමුවැන්න වනුයේ යුද්ධ හමුදාවෙන් අනිවාර්යය විශ්‍රාම යැවීමක් සිදුකිරීමයි. නමුදු එම ක්‍රියාවලිය තුලින් තත් නිලධාරී හට සිවිල් සමාජය තුල රැකියාවක් ලබා ගැනීම වැනි කටයුතු වලදී යම් ගැටළුකාරී තත්වයන් වෙත මුහුණ පෑමට සිදු විය හැකි බැවින් ඒ පිළිබඳව සලකා දෙවන ක්‍රමය වන ස්ව කැමැත්තෙන් ඉල්ලා විශ්‍රාම ගැනීමක් සඳහා එම නිලධාරීන් හට අවස්ථාව ලබාදීම සිදු කරයි. එහිදී සිදුවනුයේ යුද්ධ හමුදාවේ තෝරා ගැනීම් හෝ උපදේශණ මණ්ඩල මගින් ලබාදෙනු ලබන තීරණ අදාළ නිලධාරී හට දැනුම්දී ඉල්ලා විශ්‍රාම ගැනීමක් සඳහා අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදීමයි. ඔහු විසින් එම ලිපිලේඛණ ඉදිරිපත් කල පසු ආරක්ෂක අමත්‍යාංශය හරහා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරයි. සමාජ මාධ්‍ය විසින් කූඨ ලිපිලේඛණ සකසා නිලධාරීන් යුද්ධ හමුදාවෙන් අස්කර ඇති බවට වැරදි ලෙස අර්ථ කථනය කර ඇත්තේ එලෙස උපදෙස් ලබාදී ඇති ලිපිලේඛණ පදනම් කරගෙනයි.

කෙසේ හෝ පසුගිය කාලසීමාවේදී නිලධාරී සේවා රෙගුලාසි මාලාව යම් යම් හේතු සාධක මත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බාධා පැවතුණි. විශේෂයෙන් තිස්වසරක යුද්ධය අවසන් කිරීම සඳහා දායක වූ හමුදාවක සේවය කල නිලධාරීන් හට මානුෂීය හේතුන් මත උසස්වීම් නොලැබ තම නිලයේ රැඳී සිටිය හැකි උපරිම සේවා කාලය ඉක්මවා සේවය කිරීමට අවස්ථා සලසා දී තිබූ අතර, ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති නිලධාරීන් හටද නිසි සුදුසුකම් සපුරාලීමට අපොහොසත්ව තිබූ පසුබිමක වුවද, වසර බැගින් වූ සේවා දිගු ගණනින් 03 සිට 08 දක්වා වශයෙන් ලබා දෙමින් යුද්ධ හමුදාව තුල රඳවා ගැනීමට කටයුතු කර තිබුණි. එම බොහෝ නිලධාරීන් ලුතිනන් කර්නල් නිලයෙන් ඉහළ නිලධාරීන් විය. කෙසේ නමුදු මෙම ක්‍රියාව යුද්ධ හමුදාවේ ඉදිරි ප්‍රගමණය සඳහා දැඩි ලෙස බලපා තිබෙන බව යුද්ධ හමුදා උපදේශක මණ්ඩල මගින් කරුණු ඉදිරිපත් කර තිබුණි. මක් නිසාද යත් සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් සංඛ්‍යාවෙන් ඉතා සීමිත වූ ඉහළ නිලයන් තුල තවදුරටත් රැඳී සිටීම හේතුවෙන් විනයගරුක සහ දක්ෂතා ඇති පහළ මට්ටමේ නිලධාරීන් අපේක්ෂා භංගව අධෛර්යය යමත් වී තිබූ හෙයිනි. කොපමණ සුදුසුකම් තිබුණත් ඉහළ නිලයට උසස් වීම සඳහා වන ඇබෑර්තු නොමැති බව වටහා ගත් බොහෝ දක්ෂ කණිෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාව හැර යන තත්වයකට පත්ව තිබුණි. මෙය දිගින් දිගටම පැවතිය හොත් යුද්ධ හමුදාවේ ගුණාත්මක හා කාර්යක්ෂමභාවයට ඉතා දැඩි ලෙස බලපාන බැව් ද යුද්ධ හමුදා උපදේශක මණ්ඩල මගින් කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව එම උපදේශක මණ්ඩලවල තීරණය වූයේ තවදුරටත් මෙම ක්‍රියාවලිය අනුගමනය කල නොහැකි බවත්, සුදුස්සන්ට අවස්ථාව ලබාදීම සඳහා නිලධාරී සේවා රෙගුලාසි මාලාව අනුව කටයුතු කල යුතු බවත්ය. සමාජ මාධ්‍ය තුලින් උපුටා දක්වා ඇති ක්‍රියාවලියේදී ද සිදු කර ඇත්තේ එම රෙගුලාසි මාලාවට අනුව කටයුතු කිරීමයි. අවාසනාවට කරුණක් නම් එම ප්‍රශ්ණගත නිලධාරීන් අතර සිටින කිහිපදෙනෙකු තමන් නියමිත සුදුසුකම් සපුරා නොමැති බැවින් තවදුරටත් යුද්ධ හමුදාවේ රැඳී සිටීමට තමන් හට හැකියාවක් නොමැති බවට අවබෝධ කරගත යුතු තත්වයක් තුලදී විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් යුද්ධ හමුදාව හා එහි ඉහළ නිලයන් වෙත මඩ ප්‍රහාර එල්ල කරමින් එහි කීර්ති නාමයට කැළලක් ඇති කිරීම සඳහා පෙලඹීමයි. මෙහිදී පැවසිය හැකි කරුණක් වන්නේ එම නිලධාරීන් සියලු දෙනාම විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇති නමුදු ඔවුන්ගේ පෞද්ගලිකත්වය සලකා එම කරුණු අනාවරණය නොකිරීමට යුද්ධ හමුදාව තවදුරටත් කටයුතු කරන බවයි. කෙසේ වුවද ඒ සබැඳිව සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමා හට කරුණු වාර්තා කරනු ලබයි.

තවද සමාජ මාධ්‍ය වෙතද පැවසීමට කරුණක් තිබේ. එනම් යුද්ධ හමුදාව යනු ජාතික ආරක්ෂාව සබැඳිව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානතම කොටස් කරුවෙකි. එවැනි ආයතනයක රැදී සිටිය යුතු වන්නේ විනයගරුක හා කාර්යක්ෂම අයවලුන් පමණි. නැතහොත් සිදු වන්නේ හමුදාවේ ගුණාත්මක භාවය අඩු වීමයි. එය ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපායි. එබැවින් රටේ යහපත වෙනුවෙන් ගුණාත්මක හමුදාවක් පවත්වා ගැනීම සඳහා ගන්නා ලබන තීරණ වැරදි ලෙස ලස සමාජගත නොකරන ලෙසත්, එය පොදුවේ රටට අහිතකර ලෙස බලපානු ලබන බවත්ය. යුද්ධ හමුදා පරිපාලන කටයුතු සබැඳිව තීරණ ගනු ලබන්නේ ඒ සබැඳි සුවිශේෂී අත්දැකීම් රාශියකින් හෙබි නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩල මගින් යුද්ධ හමුදාධිපති වෙත ලබාදෙන නිර්දේශයන් මත පදනම්ව පමණක් වන අතර, එම නිර්දේශ ක්‍රියාත්මක කරනු ලබන්නේ සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගැනීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාට, ආරක්ෂක ලේකම්තුමාට හා යුද්ධ හමුදාධිපතිතුමන් හට ලබාදී ඇති බලතල හා උපදෙස් මත පදනම්ව වන බැවින් ඒ පිළිබඳව වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසටයි (නිමාව)

ඩබ්ලිව් එස් ගමගේ ආර්එස්පී යුඑස්පී
බ්‍රිගේඩියර්
අධ්‍යක්ෂ ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම්

ඉන්දික සුරියආරච්චි

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන