ටෙන්ඩර් ප්‍රතික්ෂේප වූ සමාගමකට මන්නාරමෙන් සුලං බලාගාරයක්..

මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත් වීම හේතුවෙන් විදුලිය ගාස්තු 20% ක ප්‍රමාණයකින් අඩු කිරීමේ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අකැමැත්තෙන් වුවත් සිදුවුවද, දැන් ලංවිමය සහ ආණ්ඩුව සූදානම් වන්නේ විදුලි ගාස්තු අඩු කිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව පෙන්වීමට යැයි හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘විදුලිය අඛණ්ඩව සැපයීම සහ බලශක්ති අර්බුදය’ සම්බන්ධයෙන් අද (13) එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

පුත්තලම ලක්විජය බලාගාරය සහ විදුලි කප්පාදුව: කළමනාකරණ ගැටළු සහ සත්‍යය

පසුගිය ඉරිදා (09) සිදුවූ විදුලි බිඳ වැටීම පිළිබඳ ප්‍රශ්නය අද මේ වෙනකන් විදුලි කප්පාදුවකට තුඩු දීලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා වඳුරෙක් පැනීම නිසා පානදුර ග්‍රිඩ් උපපොලට මෙවැනි දෙයක් සිදු වෙන්න හැකියාවක් නැහැ. මොකද ඉතාමත්ම වියදම් කරලා හදලා තියෙන පද්ධති කළමනාකරණ අංශයක් බත්තරමුල්ල පැලවත්තේ තියෙනවා. ඒ නිසා මෙවැනි සිදුවීම් පහසුවෙන්ම වළක්වලා පද්ධතියේ සමතුලිතභාවය පවත්වගෙන විදුලි පරිභෝජනය මහජනයාට උචිත විදිහට විසිහතර පැයම ලබාදීමේ හැකියාව තියෙනවා. මෙතන තව ගැටළුවක් තියෙනවා ඇයි පුත්තලම ලක්විජය බලාගාරය බිඳ වැටුණේ කියලා. බිඳ වැටෙන්න හේතුවක් නැහැ. මොකද එම බලාගාරය දැන් වසර දාහතරක් විතර වෙනවා දුවන්න පටන් අරන්. ඒකේ සමතුලිතභාවය පිළිබඳ යම් යම් ප්‍රශ්න තිබුණත් ඒවා මේ වෙනකොට සෑහෙන්න විසඳිලා තියෙන්නේ. අපි හිතුවත් පිටස්තර බලය නැහැ කියලා, ඉල්ලුම නැහැ කියලා පුත්තලම ලක්විජය බලාගාරයට හැකියාව තියෙන්න ඕනේ පිටස්තර ඉල්ලුම නැති වුණත් තමන්ගේ ඉල්ලුම තමන් දීගෙන, එක අරගෙන දුවන්න එහෙම නැති හැම අවස්ථාවේම වෙන්නේ, රටේ විදුලිය කඩාවැටීමක් වෙච්ච හැටියෙ, පුත්තල බලාගාරය බිඳ වැටෙනවා. රටේ විදුලිය කඩා වැටෙනවා. ඉතින් ඕක දැන් කාලාන්තරයක් තිස්සේ සිදුවෙන ප්‍රශ්නයක්. ඒක මේ වඳුරෙක්ගේ සම්බන්ධයක්වත්, මේ අසමතුලිතතාවයේ ප්‍රශ්නයක් නෙමෙයි. පුත්තලම ලක්විජය බලාගාරය පරිපාලනය, කළමනාකරණයේ ගැටළුවක්.

හරිත බලශක්ති ක්ෂේත්‍රයට දරුණු ප්‍රහාරයක්

කෙසේ වෙතත් 2024 මේ වගේ තත්වයක් උදා උනාම යවපු ලිපියක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. 2024 නොවැම්බර් 12 වෙනිදා යවන ලද ලිපියක් ඒකෙන් අනතුරු අඟවලා තියෙනවයි කියලා තියෙනවා. නිවාඩු දිනවල හරිත බලශක්තිය උකහා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා ඒ හරිත බලශක්තිය පාලනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියා කළ යුතුයි කියලා මේ ලිපියෙන් කියලා තියෙනවා. ඒකෙ නිගමන අටක් ඉදිරිපත් කරලා තියෙනවා. දැනට ඉල්ලුම ඉතාමත්ම අඩුවෙන් තියෙන නිසා සුළං බලය, සූර්ය බලය වැනි දේවල් 7 වැනි කොන්දේසිය හැටියට ඒක පාලනය කරන්න කියලා තියෙනවා මෙගා වොට් පහට වඩා වැඩියෙන් තියෙන සුළං හා සූර්ය බලාගාර සම්බන්ධයෙන් යම් පාලනයක් ඇති කරන්න කියන එක තමයි මේ දීලා තියෙන කතාව. අපි බලශක්ති අමාත්‍යාංශය පවත්වාගෙන යන කාලේ 2010 දී කොරියානු සහ ජපන් ආණ්ඩුවල උදව්වෙන් ප්‍රථම වතාවට සූර්ය බලාගාරයක් තැනුවා, ග්‍රිඩ් එකට සම්බන්ධ කෙලින්ම සම්බන්ධ සූර්ය බලාගාරයක් හැදුවා. ඒ වගේම සූර්ය බලාගාර පියසි මත වහල මත යන රූෆ් ටොප් සෝලා ඇතිකලා. ඒ දෙකම 2010 ඇතිවුණේ. ඒවා ඉතාම දූරදර්ශී පියවර. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට අද රට ආඩම්බර වෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. නිවාඩු දිනවල හොඳින් සූර්යාලෝකය තියෙන දිනවල විදුලි බලය සම්පූර්ණයෙන්ම සපයන්න සූර්ය බලයට හැකි වෙලා තියෙනවා. දැන් ලංකා විදුලිබල මණ්ඩලයේ අදහස මේක පද්ධතිය අසමතුලිතතාවයකට තුඩුදෙන නිසා මේ කටයුත්ත පාලනය කළ යුතුයි කියලා. මං දන්නෑ ඒකට සම්බන්ධද නැද්ද කියලා. හම්බන්තොට දිසා සංවර්ධන කමිටුව තීරණය කරලා තියෙනවා ඒ හම්බන්තොට ඉඩම් ලබා දීපුවා නැවත සූර්ය බලශක්තිය සඳහා ලබා නොදෙන්න. ඒක මේ ජාතික ජන බලවේගය, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවේ තීරණයක් නම් ඒක ඉතාම අදූරදර්ශී, සහ මේ නැගගෙන ආපු විශේෂයෙන්ම හරිත බලශක්ති ගොඩනැගීම් ක්ෂේත්‍රයට එල්ල කරන ලද දරුණු ප්‍රහාරයක්. ඒකත් එක්ක ගොඩනැගුණු මූල්‍ය ක්ෂේත්‍රය මුළුමනින් අවුල් කරන සුළු වැඩපිළිවෙලක්.

පසුගිය පනතෙන් ඇමතිවරයාට ලබා දුන්නා බලයක් ගැසට් කරන්න මෙගා වොට් දහයට වඩා අඩුවෙන් තියෙන standardized power purchase agreements පිළිබඳව ඒවයේ ප්‍රමාණය ගැන තීරණය කරන්න. දැන් වාර්තා වෙනවා තාම සිදුවෙලා නෑ එහෙම ගැසට් නිවේදනයක්. නමුත් වාර්තා වෙනවා. ඒක එක මෙගාවොට් එකකට සීමා කරන්න. ඒ තුලිනුත් දැවැන්ත කර්මාන්තයක් හැටියට ගොඩනැගිච්ච ක්‍රියාවලියක් ඒ වගේම රටේ බලශක්ති අර්බුදයට, රට ඇතුලෙන් විසඳුමක් ගෙන එන ක්‍රියාවලියක් ගෝලීය පරිසර වෙනස්කම් වලට ගෝලීය දේශගුණික විපර්යාස වලට උත්තරයක් හැටියට ආපු ක්‍රියාවලියක් අඩපණ වෙමින් තියෙනවා. ඇත්තම කිව්වොත් දැනට සුළං බලය හා සූර්ය බලය තියෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ විකුණුම් මිල ට වඩා අඩුවෙන්. ඒ කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට සූර්ය විදුලි ඒකක, සුළං විදුලි ඒකක, ලාභයි. ඔවුන්ට ගල් අඟුරු ඒකක, ඩීසල් ඒකකවලට වඩා ලාබයි අද ආර්ථික වශයෙන් ගත්තත්, මූල්‍යමය වශයෙන් ගත්තත්. ඒ නිසා මේ ක්ෂේත්‍රය මරා දැමීමේ උත්සාහයක් තියෙනවද කියන එක තියෙනවා.

ටෙන්ඩර් පටිපාටියෙන් ප්‍රතික්ෂේප කළ සමාගමකට මන්නාරම සුළං බල සංවර්ධන ව්‍යාපෘතිය ලබා දීම

ඊළඟට මහා පරිමාණයෙන් ටෙන්ඩර් කැඳවලා කරන දේවල් ආණ්ඩුව කරගෙන යනවා. අපි දැක්කා පහුගිය දවස්වල ටෙන්ඩර් පටිපාටියෙන් ප්‍රතික්ෂේප කරපු සමාගමකට මෙගාවොට් 50 ක් මන්නාරමෙන් ලබා දුන්නා. ඒ වගේම තව 145 ක් ටෙන්ඩර් කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි ත්‍රිකුණාමලේ ආයතනයත් එක්ක මෙගා වොට් 500 ක් ගන්න කතා කරනවා සූර්ය බලයෙන්. ඒ වගේම මේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවා, සාමාන්‍යාධිකාරීවරයා 2023 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා වාර්තාවක් (සුළං, සූර්ය බලය සහ සමහරවිට කුඩා ජල විදුලි වෙන්න පුළුවන්, දැවවලින් නිපදවන විදුලිය වෙන්න පුළුවන්) 2600ක් කිසිම අසමතුලිතභාවයකින් තොරව, පද්ධතියට එකතු කරගත හැකි බව. ඒ අනුව තමයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලගේ ආණ්ඩුව, 70%ක් එම්. සී. ආර්. වලින් දුවන විදුලිබල පද්ධතියක් පිළිබඳ ඉලක්කයක් ලබා දුන්නේ 2030 දී. මේ රජයේත් අභිලාශය එතකොට ඒ අභිලාෂයට දැන් මෙතන ප්‍රශ්නයක් පැන නග්ගලා තියෙනවා මේ පද්ධති අසමතුලිතතාවය නමින් ඒ ක්‍රියාවලිය නතර කරන්න. ඒක ඉතාමත්ම නරක තත්වයක්. අපි ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඉතාමත්ම නරක තත්වයක්. මේ රටේ අනාගතයටත් ඒ වගේම මෙතුවක් කාලයක් ඉතා මහන්සියෙන් ගොඩනගා ගත්ත ඒ ක්‍රියාවලියටත් ඒක ඉතාමත්ම හානිකරයි මේ රටේ.

විදුලි ගාස්තු අඩු කළ නිසා ලංවිමයේ වියදම වැඩි වෙලා ද?

පෙබරවාරි 5 වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම් මිලියන 850 යි. හැබැයි පෙබරවාරි 11 ඔය සිද්ධිය වුණාට පස්සේ ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩිවෙලා තියෙනවා. මිලියන 1750 කට. මේ පෙන්නන්න යන්නේ මේ මොකක්ද? මේ පෙන්නන්න යන්නේ අර ගාස්තු අඩු කිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට හානියක් වෙනවා ඒ මූල්‍යමය වශයෙන් ඒක ඔප්පු කරන්න යන එක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව රජයෙන් ඉල්ලනවා මේ එක වෙන්නේ කොහොමද මහජන උපයෝගීතා කොමිසමත්, අමාත්‍යාංශයත්, නිකන් මාධ්‍ය ප්‍රකාශ දදා ඉන්නේ නැතුව, මැදිහත්වෙලා කටයුතු කරන්න කියලා. මොකද මේ දවස්වල උෂ්ණත්වය කාටත් පැහැදිලියි. හොඳ ජල මට්ටමක් තියෙනවා. හොඳ ජල විදුලි තත්ත්වයක් ජනවාරි පළවෙනිදා ඉඳන් තිබිලා තියෙනවා. ඒ තත්වය අපි ආරක්ෂා කරගත යුතුයි ඊළඟ මෝසම් වැසි එනකන්. ඒක එහෙම නොකර පාවිච්චි කරන්න පටන් ගත්තොත්, වෙනත් වෙනත් ආකාරවලට ලොකු ප්‍රශ්නයක් එනවා.

ඒ නිසා පළවෙනි දේ තමයි, පද්ධති මෙහි වගකීම භාර ගැනීමත් පුත්තලම ගල් අඟුරු බලාගාරය දුවන්න පුළුවන් තත්ත්වයට තාක්ෂණය හසුරුවා ගැනීමත් මිසක සූර්ය බලය, සුළං බලය අක්‍රිය කිරීම නෙවෙයි. ඒ වගේම සූර්ය බලය, සුළං බලය සමාගම් කිහිපයකට අධිකාරියක් වෙන්න යනවාද කියන ප්‍රශ්නෙත් ඔය මන්නාරමේ ටෙන්ඩර් පටිපාටිය ඉක්මවලා ගිහිල්ලා, ඒ කියන්නේ Technical Evaluation Committee එක කියපු එක කරලා අර මේ රජය අලුතෙන් පත්කරපු ලේකම්වරයා මූලිකත්වයෙන් යුතු Cabinet Appointed Negotiating Committee එක ගත්ත තීරණය පිළිබඳ බලගතු ප්‍රශ්නයක් පැනනැගිල තියෙනව. ඒ නිසා ඒක ඒකෙ දූෂණයක් තියනවද? ඒක බලගතු ප්‍රශ්නයක්. ඒකෙ ගණන් අඩුකම ඇත්තයි. හැබැයි ඒකට මූල්‍ය සැපයුම කරන ආකාරය ගැන, බිඩ් බොන්ඩ් එක ගැන තාක්ෂණ ඇගයුම් කමිටුව ලංකා විදුලිබල මණ්ඩලයෙ නගල තියෙන ප්‍රශ්න පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. ඒක මහජන උපයෝගිතා කොමිසම හෝ වෙනත් අය කරන්න ඕනෙ. එහෙම නැතුව මේ ජනාධිපතිවරු පත්කරන ලේකම්ලාට ඕන ඕන විදියට මේ ක්‍රියාවලිය කරගන්න බෑ. මොකද අපි දන්නවා මේ රටේ ඇතැම් ව්‍යාපාරික පිරිස් අවංක ව්‍යාපාරික පිරිස් ඉන්නවා. තවත් ව්‍යාපාරික පිරිස් වලට අවශ්‍යයි කළු සල්ලි සුදු කරගන්න. ඒ කළු සල්ලි සුදු කරන තැනක් බවට මේ හරිත බලශක්ති ක්ෂේත්‍රය පාවිච්චි කිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ ගැන අපි ඉතාමත්ම අවදියෙන් ඉන්නේ.

මේ රට විශාල ජයග්‍රහණයක් සූර්ය බලය හා සුළං බලයෙන් ලබාගෙන තියෙනවා. ලබාගන්න තියෙනවා. මේ මේ රටේ ඉදිරි බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය රැඳී තියෙන්නේ මේ මත. අපි ඩීසල් වලට, එහෙම නැත්නම් දැවිතෙල් වලට, ගල් අඟුරු වලට ඩොලර් වැය කරනවා වෙනුවට රට තුළ තියෙන සුළං බලයෙන්, සූර්ය බලයෙන් ප්‍රයෝජම අරගෙන යන්න පුළුවන් ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න පද්ධති කළමනාකරණය ඒ ආකාරයට නිවැරදිව කළයුතු වෙනවා. පරණ ලියුම් එළියට ඇදලා දාලා හරියන්නේ නැහැ. ඒ වගේම විධිමත් පරීක්ෂණයක් මේ සිදුවීම ගැන අවශ්‍යයි. වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දීම අවශ්‍යයි. ආර්ථිකයට එදින වෙච්ච පාඩුව හා මේ එකෙන් වෙලා තියෙන පාඩුව ගණනය කරලා ඒ වගේම ජනතාවට මේ සම්බන්ධයෙන් වන්දි ලබාදීම අවශ්‍යයි.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් රණවක මහතා;

ගල් අඟුරු ටෙන්ඩර් ගැටළුව සහ ජවිපෙ ක්‍රියාකාරීන්ගේ මඩ ගැසීම්

ප්‍රශ්නය:

ඔබ 2015 විදුලිබල ඇමති විදියට ඉන්න කාලේ මේ ගල් අඟුරු චෝදනාවක් සම්බන්ධයෙන් ඔබතුමාගේ නම කියවෙනවා. ඒ කාලෙ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්තයාම තමයි ඒ දවස්වල ඒ කතාව කිව්වේ. ඒ ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නේ?

පිළිතුර:

දැන් ඇත්තටම මේ අපේ සමාජ මාධ්‍යවල.. නිතරම අපි යම් ජයග්‍රහණයක් ලබා ගත්තාම, ඒ ගැන මොනවා හරි කිව්වට පස්සේ මේ කතාව කරගෙන යනවා ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකාරයෝ. ඇත්තටම මොකක්ද 2015 වුණේ? 2015 ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 4500 ක් පාඩු ලබන්න ගි‍යේ. රු.16.20ට විදුලි ඒකකය විකුණමින් තිබුණේ. අපි ඒක අඩු කළා රු.15 ට. අඩු කරලත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළා දින සීය ඇතුලේ. මේක දරාගන්න බැරිවුණා. විශේෂයෙන්ම අධික මිලකට අරගෙන තිබුනු තෙල් බලාගාර 5 ක් අපි වසා දැම්මා. ඔය ඇඹිලිපිටියේ, කොළඹ තිබිච්ච තෙල් බලාගාර වසා දැම්මා. අන්න ඒ ඩීසල් මාෆියාවට මේ ජයග්‍රහණය දරාගන්න බැරි වුණා. මොකද ඒගොල්ලන් අධික මුදල් උපයන්න තිබිච්ච ක්‍රමවේදයක් නිකන්ම ඉඳලා, නැතිවෙලා ගියා විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ බලාගාර නැතුව විසිහතර පැයම විදුලිය ලැබුණා විතරක් නෙවෙයි, ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අතින් ශක්තිමත් වුණා. ඉතින් මොකක්ද මේ ටෙන්ඩරය? මේ ටෙන්ඩරය, මම ඇති කරපු එකක් නෙමෙයි. මේක පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ කාලේ ආරම්භ කරපු ටෙන්ඩරයක්. එතකොට මේ ටෙන්ඩරයට අපි වෙනස්කම් දෙකක් කළා. එකක්, ඒ ටෙන්ඩරයෙන් එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් තෝරන්න යෝජනා කරලා තිබුණා. ඒ දෙවනියා පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මොකද දකුණු අප්‍රිකානු ගල් අඟුරු පිරිසකට දෙන්න ගියේ LTTE සංවිධානයට සම්බන්ධ දෙමළ ඩයස්පෝරාවත් එක්ක සම්බන්ධ පිරිසකට යම් කප්පමක් හැටියට, පැහැදිලිවම කප්පමක් හැටියට දෙන්න ගියේ. මොකද අපිට ඒක දකුණු අප්‍රිකාවේ ගිය අවස්ථාවකදී දැනගන්න ලැබුණා. ඒ සිද්ධිය දන්න නිසා තමයි එක්කෙනෙක්ට විතරක් දෙන්න අපි මේක තීරණය කළේ. ඊළඟට අපගේ පුත්තලම ගල් අඟුරු බලාගාරයේ Cycle එකක් තියෙනවා අවුරුදු තුනෙන් තුනට යවන්න ඕනේ Repair වලට. ඒ නිසා අවුරුදු තුනකට මේ කොන්ත්‍රාත්තුව අපි සීමා කළා. ඒ ඇරෙන්න වෙන කිසිදෙයක් අපි කරලා නෑ. ඒ වගේම මේකෙ අවසාන නිගමනය ආවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ මේ කිසිම ටෙන්ඩරයකට මැදිහත් වෙන්න ඇමතිවරුන්ට බෑ, මේක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අතට ගියා. නමුත් මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ගත්ත නිගමනයට procurement appeal board එක විරුද්ධයි කියලා දැ වාර්තා වුණාට පස්සේ මම ලිපියකින් ඒ මහ මැතිවරණයට පෙර, මම ලිපියකින්, ලිඛිතවම දැනුම් දුන්නා ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයට මේ ටෙන්ඩරය ක්‍රියාත්මක කරන්න එපා. ගල් අඟුරු හිඟයක් ඇති වෙන්නෑ. මොකද අපි අලුත් ක්‍රමයක් හඳුන්වලා දීලා තිබුණා. ඒ ක්‍රමය ලාභදායී වුණාය කියලා පස්සේ රංජිත් සියඹලාපිටිය මැතිතුමා පාර්ලිමේන්තුවේ දීර්ඝ ප්‍රකාශයක් කරලා කිව්වා. හැබැයි අර අපෙන් පළිගන්න හිතාගෙන හිටපු පිරිස් විශේෂයෙන්ම අර රාඩා ගනුදෙනුවෙන් හෙළිදරව් වෙච්ච මාධ්‍ය අයිතිකාරයෝ වගේ අය මේ වසන්ත සමරසිංහ මහත්තයා ලවා මේ ඉදිරිපත් කළා අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක්. අල්ලස් දූෂණ කොමිසම මේ ගැන විමර්ශනයක් කළා. මටත් එන්න කියලා විශේෂඥ සාක්කියක් ගත්තා. හරි. මොකද මේ පිළිබඳව විගණකාධිපතිවරයාත් වාර්තා කරලා තියෙනවා හිටපු ඇමතිවරයාත් මේකට විරුද්ධව තියෙනකොටම ඇයි මෙහෙම උනේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනම නිගමනයක් තියෙනවා. ඉතින් දැන් ඒගොල්ලන්ගේ බලය තියෙන්නේ මේක යට ගහපු නඩුවක් කියලා මම දන්නවා. ඒ යට ගහපු නඩුව එළියට අරගෙන, අපේ සාක්කියත් පදනම් කරගෙන, ඒක විසඳන්න පුළුවන්. ඒ වගේම මේ දිගින් දිගටම මේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකාරයෝ, මේ අපට ගල් අඟුරු කතා කියනකොට මම විවෘතවම අනුර දිසානායක මහත්තයාට ලිපියක් ඇරියා. මම එතුමාට මුලින් වාචිකව කිව්වා, මේකයි තත්වය, ඔබගේ වසන්ත සමරසිංහ මහත්තයාගේ පෙත්සමේ. කවුරුවත් මේකට ආවේ නෑ. මම ගිහිල්ලා මේ ගැන සාක්කියක් දුන්නා. විශේෂඥ සාක්කියක්. මේ නඩුව ඉදිරියට ගෙනියන් නැති බව මට අල්ලස් දූෂණ කොමිසමේ ඒ පරීක්ෂණ නිලධාරීන් දැනුම් දුන්නා. මං කිව්වා ඒක ජාතික අපරාධයක් කියලා. ඒක නිසා මේ සෙල්ලම නවත්තන්න කියලා. එතුමලා නැවැත්තුවේ නෑ. ඒ අනුව මං එතුමාට අභියෝගයක් කළා. පුළුවන් නං මාත් එක්ක විවාදෙකට එන්න. මේ වෙච්ච සිදුවීම් ගැන තැන් තැන් වල මඩ ගහන්නැතුව කියලා. ඒ නිසා ඔය ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකාරයින්ට අපි කියනවා අපි විදුලිබල මණ්ඩලය ලාභදායී කරලා ලංකා විදුලිබල මණ්ඩල ක්ෂේත්‍රයේ ලබාගත්ත ජයග්‍රහණ. විශේෂයෙන්ම මේ හරිත බලශක්තිය ප්‍රවර්ධනය පැත්තෙන් ලබාගත් ජයග්‍රහණවලට මඩ ගහන්න යන්න එපා. ඔබලාගේ අතේ බලය තියෙන්නේ. දැන් පුළුවන් අල්ලස් දූෂණ කොමිසමට මේක විමර්ශනය කරන්න. විගණකාධිපතිගේ වාර්තාව තියෙනවා. ඒ වගේම අල්ලස් දූෂණ කොමිසමේ විමර්ශනය තියෙනවා. ඒ විමර්ශනයට අනුව ඒ නඩු පැවරීම කරන්න. එතකොට මේ ප්‍රශ්නෙදි එහෙම නැතුව මේ දිගින් දිගටම මඩ ගැහිල්ලට එන්න එපා. අපිට එහෙම උනොත් අපටත් සිද්ධ වෙනවා ඒ අය සම්බන්ධයෙන් පියවර ගන්න.

විදුලිබල ප්‍රශ්න ජයගැනීමේ තිරසාර විසඳුම්

ප්‍රශ්නය: මොන වගේ යෝජනාවක්ද දෙන්නේ මේ ප්‍රශ්නය විසඳගන්න?

පිළිතුර: මෙතන කිසිම අර්බුදයක් නෑ. ලංකාවේ මෙච්චර කාලයක් තිබුණ ප්‍රශ්නය තමයි ඉල්ලුම සපයා දෙන්න සැපයුම නෑ. බලාගාර නෑ කියපු එක. දැන් මේ වාර්තාවෙන් කියන්නේ ඉල්ලුම නෑ කියන එක. ඕන තරම් සපයන්න බලාගාර තියෙනවා. ඉල්ලුම නෑ කියන එක. ඉල්ලුම ඇතිකර ගැනීම පිළිබඳ යෝජනා ගණනාවක් තියෙනවා. සමහර ඒවා සාධනීය යෝජනා. ඒවා ක්‍රියාත්මක කළාම හරි. පළවෙනි දේ තමයි පුත්තල ගල් අඟුරු බලාගාරය නෝලෝඩ් කන්ඩිෂන් එකේ දුවන්න පුළුවන් බලාගාරයක් බවට පත් කරන්න. ඒකට කිසිම දේශපාලකයෙකුට හා ආණ්ඩුවකට දොස් කියලා වැඩක් නැහැ. එම බලාගාරය නිර්මාණය කිරීමේ තාක්ෂණික ගිවිසුම අත්සන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ එවකට සාමාන්‍යාධිකාරී ෆොන්සේකා මහත්මයා චීනයත් එක්ක. ඒ නිසා එහි තාක්ෂණ ගැටලු තියෙනවා නම් සම්පූර්ණ වගකීම තියෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට. ඒක පවත්වගෙන යන්න ඕනේ. අනික විශාල වියදමක් දරලා System Control එකක් හදලා මේක විධිමත්ව කළමනාකරණය කරන්න. මීට ප්‍රථමත් මට මතකයි 2016 දීත් විදුලි බිඳවැටීමක් උනහම කිව්වා මෙහෙ පිදුරු ගිනි තියලා මේ ප්‍රශ්නය ඇතිවුණේ කියලා. හැබැයි පරීක්ෂණයේදී එළිවුණා තෙල් මාරු කරලා නෑ බියගම එකේ කියලා. ඒ නිසා තමන්ගේ විදුලි පද්ධති විධිමත්ව කාර්යක්ෂමව පවත්වගෙන යන්න. අතීතයට දොස් පවර පවර නිදොස් වෙන්න හදන්න එපා. මේ දීලා තියෙන පද්ධතිය හොඳටම දියුණු විද්‍යාත්මක පද්ධතියක්. ඒ පද්ධතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි අනාගතයේ අනිවාර්යෙන්ම මේ තමන්ගේ අකාර්යක්ෂමතාවය, තමන්ගේ අදූරදර්ශීභාවය නිසා විදුලි කප්පාදුවකින් මහජනයාට හානි වෙනවා නම්, ඒ පිළිබඳ මහජනයා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. මම අනතුරු අඟවනවා මේ යන ප්‍රවණතාවය මේ විදියට ගියොත් නිසි ආකාරයේ වර්ෂාව නොලැබුනොත්, අප්‍රේල් වෙනකොට මේක පාලනය නොකලොත් මීට වඩා භයානක තත්වයකට රටේ විදුලිබල ක්ෂේත්‍රය පත්වෙන්න පුළුවන්. අපි මේ ගැන විවෘතව බලාගෙන ඉන්නවා. නිරන්තරයෙන්ම ජනතාවට ඒ අනතුරු ඇඟවීම කරනවා. දැනට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අනාගතයේ එන්න පුළුවන් මේ ආකාරයට මේක ගියොත්.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිනී, ප්‍රියදර්ශනී ආරියරත්න, කාන්තා අංශයේ සභාපතිනී ධාන්‍යා සමරසිංහ, මධ්‍යම කාරක සභිකයින් වන කිංස්ලි පෙරේරා සහ තරිඳු දිලීප ගමගේ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

– Media unit

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන