මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක්
එක්කර දීම සඳහා මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සහ ඊට අදාළ ඉදිරි පියවර මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.
වෘත්තියට වටිනාකමක්
පසුගිය රජයන් කිහිපයක් ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහ ගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම ආයතනය ස්ථාපිත කිරීම අමාත්‍යංශයේ අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, ඒ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන්ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන් ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ද ලැබෙන බව පැවසී ය.
ජනමාධ්‍යවේදීන්ට සිය නිදහස, ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කරදීමත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අරමුණ කර ගනිමින් වසර පනහක් පමණ පැරණි 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත නව සන්නිවේදන ප්‍රවණතාවලට යෝග්‍ය පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවක්
ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාක්මක වූව ද, වර්තමානය වනවිට එහි යම් යම් සංශෝධන සිදුවිය යුතු බව පෙනී ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය.
මෙරට තුළ නීතිගරුක, මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරගත් පරිපූර්ණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි ජනමාධ්‍යවේදීන් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යයන කටයුතු, සුභසාධනය, වෘත්තීය නිපුණත්වය ඉහළ දැමීම ආදී ක්ෂේත්‍ර සඳහා විවිධ වැඩසටහන් දීපව්‍යාප්තව සංවිධානය කළයුතු ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණ.
විශේෂයෙන් ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මෙහි දී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම දැනටමත් පුවත්පත් මණ්ඩලය පාසල් දරුවන්ට සහ සන්නිවේදන විෂයට ළැදියාවක් දක්වන්නන් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන විශේෂ වැඩමුළු මාලාව ද මනා සංවිධාන ව්‍යුහයක් යටතේ අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තිරණය කරණු ලැබිණි.
මෙම අවස්ථාවට: ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, වත්මන් සභාපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත, නීතීඥ මහීෂා මුදුගමුව, ලෙස්ලි දේවේන්ද්‍ර යන අය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.











